දවස් තුනක් ඇඳට කරපු අමතක නොවන ට්‍රිප් එක
දවස් තුනක් ඇඳට කරපු අමතක නොවන ට්‍රිප් එක
වැඩ ඉවරවෙලා ඇවිත් නිදාගන්න කලින් බයික් එකේ අඩුපාඩු බලන එක මගේ සාමාන්‍ය පුරුද්දක්. ගිය සතියේ සිකුරාදා (18 වෙනිදා) සාමාන්‍ය විදිහටම ගෙදර ආවත්, වෙනදට වඩා හිතේ ලොකු සතුටක් තිබුණා. ඒ කාලයක් තිස්සේ යන්න බලාගෙන හිටපු ට්‍රිප් එක පහුවදාට යෙදිලා තිබුණු නිසායි. වෙනදාට මහන්සියට ඉක්මනට නින්ද ගියත්, එදා පාන්දර 2 වෙනකම් ඇහැ පියවුණේ නෑ. උපරිම නිදාගන්න ඇත්තේ පැය දෙකක් වගේ. 4.30ට නිදි මරගාතේම නැගිටලා, ඇස් දෙකත් පියාගෙන වගේ නුවරට අදින්න ගත්තා. පට්ට නිදිමතක් තිබුණු නිසා 30-40ට වගේ හෙමින් ගිහිල්ලත් කොහොමහරි උදේ 10 වෙද්දි නුවරට සේන්දු වුණා.
කාලා බීලා ටිකක් ෆ්‍රෙෂ් වෙලා 11ට විතර සෙම්බුවත්ත පැත්තට හැරුණා. හැබැයි Google අක්කි සුපුරුදු විදිහට පාර වරද්දපු නිසා අන්තිමේදී ගමේ කෙනෙක්ගෙන් පාර අහගෙන තමයි ගමනාන්තයට යන්න වුණේ. ඒ මදිවට කලින් දවසේ හොඳට තිබ්බ බයික් එකත් යකා නටන්න ගත්තා. Slow jet එකට රොඩු ගිහින් හිරවෙලා, throttle එක අතෑරපු ගමන් එන්ජිම බකස් ගාලා නවතිනවා. බයික් එකේ බරයි, පස්සෙ යන කෙනයි, බෑග් ටිකයි සේරම එක්ක අර ලෙඩ බයික් එකත් අටවගෙන ඒ කන්ද නැග්ගේ හෙනම ගේමක් දීලා.
කොහොමහරි දවල් 2 වෙද්දි සෙම්බුවත්තට ගියා. ලොකු සෙනඟක් හිටියෙ නැති නිසා ප්ලේස් එකේ උපරිම නිදහසක් තිබුණා. වෙච්ච කරදර, ගමන් මහන්සිය, නිදිමත ඔක්කොම අමතකයි. මාරම ආතල්.

ආපහු නුවරට ඇවිත් එහේ නැවතිලා යන්න ප්ලෑන් කරලා තිබුණත්, අන්තිම මොහොතෙ හදිස්සියෙම කොළඹ එන්න සිද්ධ වුණා. රෑ 9ට විතර Espresso ෂොට් දෙකක් ගහලා නුවරින් පිටත් වුණා. මේ ගෙවන්න යන්නේ ජීවිතේ අත්දැකපු භයානකම පැය කීපය කියලා නිකමට හරි හිතුනා නම්, ඒ ගමන පහුවදාට කල් දානවා.

නිදි නැති එක, උදේ බයික් එකත් එක්ක හැප්පෙන්න වුණු එක දැන් හොඳටම දැනෙනවා. සැරින් සැරේට ඇඟ තනිකරම යන්නේ Autopilot කියලා තේරෙනවා. මඟදි කිහිප තැනකම නවත්තලා Energy drinks බිව්වත් කිසිම වැඩක් වුණේ නෑ. කඩුවෙල පහුකරද්දි මම ආවෙ පියවි සිහියෙන් නෙවෙයි. තුන් හතර පාරක්ම ඇස් පියවුණා. කිහිප සැරයක්ම හෝන් සද්ද වලට, හෙඩ්ලයිට් වලට ගැස්සිලා ඇහැරුණා. ඒ වෙලාවේ දැනුණු නිදිමත, තෙහෙට්ටුව වචනෙන් විස්තර කරන්න බැහැ. කොහොමහරි පණ ගැටගහගෙන ගෙදරට එද්දි පාන්දර 2ට කිට්ටුයි.

හරියටම බැලුවොත් පැය 22ක් එක දිගට travel කරලා. පණපිටින් ගෙදර ආවෙ තනිකරම පෙර පිනකට කියලා මේක ලියද්දි හිතෙනවා. හෝන් සද්ද, ඇඟට එන ලයිට් එළි මතක් වෙද්දී තාමත් හිත හෙල්ලෙනවා.
ඒ ඇවිත් නිදාගත්තට පස්සෙ පහුවදා කොරේ පිටට මරේ වගේ Food poisoning එකක්. දවස් තුනක්ම සහලෝලා උණ. නැගිටගන්නත් බැරුව ඇඳට වෙලා පුදුම කට්ටක් කෑවෙ. පොඩ්ඩක් සනීප වෙලත් දවස් කිහිපයක් යනකම්ම ඇඟට ලොකු පණක් තිබ්බෙ නෑ. ජීවිතේ මේ වෙනකන් ගියපු රිස්කිම ට්‍රිප් එක මේක කියලා නම් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
- Loki -
Unforgettable 3-Day Trip: Food Poisoning & Autopilot
Left for Kandy on 2 hours of sleep. After a carb slow-jet issue uphill to Sembuwatta and 22 hours of non-stop riding, I drifted into dangerous highway autopilot fatigue on the way back to Colombo. Made it home alive at 2 AM, only to get hit with 3 days of severe food poisoning and fever.
The single riskiest trip of my life.
- Loki -